ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - ඩයනි සිහස්නා

interview-with-sri-lankan-crossdresser-Daini-sihansa

අපගේ බ්ලොග් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන හරස්විලාසිනියන් සමග සිදු කල 16 වන සම්මුඛ සාකච්ඡාව සඳහා එක් වූයේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඩයනි සිහස්නා නැමැත්තියයි.ඇය සිය කැමැත්තෙන්ම මේ සඳහා සම්බන්ධ වීම විශේෂත්වයකි.ඇයගේ අනෙක් විශේෂත්වය වන්නේ විනෝදාංශයක් වශයෙන් පමණක් හරස්විලාසිතා කිරීම.මෙතෙක් කාලයක් ඔබ හමුවේ ගෙන ආ හරස්විලාසිනියන්ට වඩා වෙනස්ම චරිතයක් වන ඩයනිගේ කතාව මෙලෙස දිග හරිමු.

1.ඔබ ගැන කෙටියෙන් යමක් සඳහන් කල හොත්?

මම ඩයනි සිහස්නා.වයස අවුරුදු හතලිහක හරස්විලාසිනියක්.පදිංචිය හෝමාගම



2.කාන්තාවක් ලෙස සැරසී සිටීමට සිතුනේ කුමන කාල වකවානුවකදීද?

පාසල් යන කාලේ විනෝදාංශයක් විදියට තමයි හරස්විලාසිතා කරන්න පටන් ගන්නේ.ඒ වෙද්දී මම ඉගෙන ගත්තේ දහය වසරේ වගේ මතක.



3.හරස්විලාසිනියක් යනු කවරෙක්ද යන්න ඔබේ වචන වලින් විස්තර කලහොත්?

සරලව කිව්වොත් ගැහැණියක් විදියට අදින්න පළදින්න කැමති පිරිමියෙක්




4. හරස්විලාසිනියන්ට සමාජයේදී මුහුණ දෙන්නට වන ගැටලු ඔබේ අත්දැකීම්වලින් පැහැදිලි කරන්න.

හරස්විලාසිතා කිව්වම ගැහැණු,පිරිමි දෙපක්ෂයම කරන දෙයක්.නමුත් හරස්විලාසිතා කරන ගැහැණු අයට සාමාජයෙන් තියෙන පිළිගැනීම හරස්විලාසිතා කරන පිරිමින්ට නැහැ.ගැහැණු අයට කොණ්ඩේ කොටට කපලා,පිරිමියෙක් වගේ ඇදලා පැලදලා ප්‍රශ්නයක් නැතුව එළිමහනේ ඇවිදින්න,අනිත් ගැහැණුන් ආශ්‍රය කරන්න ,සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඉඩ ලැබිලා තියෙනවා.ඒත් අපි කතා කරන පිරිමි හරස්විලාසිනියන්ට කාන්තාවක් විදියට සැරසිලා පාරක තොටක නිදහසේ යන්න බෑ.එක්කෝ පොලිසියේ නැත්නම් වෙනත් පිරිමින්ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙන්න වෙනවා.



5.ඔබ පළමුවරට කාන්තා ඇදුමින් සැරසුනු දිනය සිහිපත් කරන්නේ නම්?

ඒ ගැන නම් මට ලොකු මතකයක් නෑ.කලින් කිව්වා වගේ ඒ දේ සිද්ධ වුනේ මම පාසල් යන කාල සමයේ.මට ආසාවක් ඇති වුනා කාන්තා යට ඇඳුම් අදින්න.මුලින්ම ඇන්දේ අක්කා කෙනෙක්ගේ ඇඳුම්.වයසින් මුකුහුරා යද්දී සම්පූර්ණ කාන්තාවක් විදියට සැරසෙන්න ඕනේ කියන ආසාව මතු වුනා.රැකියාවක් කරන්න පටන් ගත්තට පස්සේ තනිවම ඇඳුම් මිලදී ගත්තා.



6.හරස්විලාසිනියන් සමාජයෙන් කොන් කරන්නේ සහ සමාජයේ පිළිකුලට ,අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නේ ඇයි?

හේතුව අපි ජීවත් වෙන ආසියානු සමාජය විසින් පිරිමියා දකින විදිය.පිරිමියෙක් ගැහැණියක් වෙන්න දගලන එක මේ සමාජයට අනුව පිරිමිකම පහත් කිරීමක්.නමුත් යුරෝපා රටවල පිරිමි හරස්විලාසිනියන්ට නිදහසක් තියෙනවා.

හරස්විලාසිතා කරන ගැහැණුන්ට එහෙම සමාජයෙන් විරෝධයක් එල්ල වෙන්නේ හෝ ඔවුන්ව කොන් කිරීම සිද්ධ වෙන්නේ නැහෑ.ගැහැණුන්ට පුලුවන් කලිසමක්,කොට කලිසමක් වුනත් ඇදලා එළිමහනේ ඉන්න.කාන්තා නිදහස නෑ කිව්වට,කාන්තාවන්ට පිරිමින්ට වඩා නිදහසක් ලෝකයේ තියෙනවා කියලා ඒකෙන්ම පේනවා.




7.ඔබේ හරස්විලාසිතා ජීවිතය ලෝකයාට රහසක්ද?

ඒ ජීවිතය අතිශය රහසිගතයි.මම ඇරෙන්න වෙනත් කිසිම කෙනෙක් මගේ හරස්විලාසිතා ජීවිතය ගැන දැනුවත් නැහැ.ඒ වගේම මේ දේවල් කරන්න බොහොම පරිස්සමින්.ගෙදර අයට අහුවෙන්න ඔන්න මෙන්න ගිය අවස්ථා පවා තියෙනවා.වාසනාව නිසා මම ඒ අවස්ථාවලින් බේරුණා කිව්වොත් නිවැරදියි



8.ඔබ හරස්විලාසිනියක් වීමට හේතුව කුමක්ද?

විශේෂ හේතුවක් නෑ.මුලදී පටන් ගත්තේ විනෝදාංශයක් විදියට.ගැහැණු කෙනෙක් ලස්සන ඇඳුමකින් සැරසිලා ඉන්නවා දැක්කොත්,මටත් හිතෙනවා ඒ විදියට අදින්න ඇත්නම් කියලා.එහෙම හැඟීමක් ඇතිවෙලා තියෙනවා මට.



9.හරස්විලාසිනියකට ස්ත්‍රී නාමයක් අවශ්‍යමද?

ඔව් ස්ත්‍රී නාමයක් අවශ්‍යයි.අපි පෙනී සිටින්නේ කාන්තාවක් විදියට නම් ස්ත්‍රී නමක් තමයි ගැලපෙන්නේ.




10.හරස්විලාසිනියන්ට සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ නිදහසේ අදහස් දක්වන්නට අවස්ථාව ලැබී තිබේ.ඒ සම්බන්ධව ඔබේ අදහස දැනගන්නට කැමතියි

ඒක හොඳ දෙයක්.අපේ කාලේ සමාජ ජාල තිබ්බේ නැහැ.අපි හරස්විලාසිතා කලේ නිවස ඇතුලෙමයි.එළියට යන්න පුලුවන්කමක් නැහැ.ඒ නිදහස අපිට සමාජ ජාලා හරහා ලැබිලා තියෙනවා.



11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවාද?

කාන්තා ඇඳුම් හැමදෙයක්ම වගේ මම අදිනවා.යට ඇඳුම්වල ඉදලා හැමදේම.සාමාන්‍යයෙන් මාසයකට වරක් මම අලුත් ඇඳුමක් ගන්නවා.අලුත් විලාසිතා කරනවා.ඒ ඒ ඇඳුම්වල එකතුවක් මං ගාව තියෙනවා.අදින වෙලාවට ගැලපෙන එක තෝරලා අදිනවා.මාල වළලු වගේ පැළඳුම් තියෙනවා.තොල් සහ නිය ආලේපන පාවිච්චි කරනවා.තොල් ආලේපන තමයි වැඩිපුර භාවිතා වෙන්නේ.



12.බොහෝදෙනාට හරස්විලාසිනියන් යනු ලිංගික වෘත්තිකයන් පිරිසකි.මෙහි සත්‍යය අසත්‍යයතාවය කුමක්ද?

හුගක් වෙලාවට ඔය දේ කරන්නේ සමලිංගික සහ සංක්‍රාන්තිලිංගික අය.සංක්‍රාන්තිලිංගිකයෝ කියන්නේ අපිට බලපාල තියෙන සමාජ බාධකය බිදගෙන ගිහින් තමන්ට කැමති විදියට ජීවත් වෙන පිරිසක්.ඒ පිරිසට රැකියාවක් ලබා ගැනීම අසීරුයි.ඉතින් ජීවත් වෙන්න ඔවුන් ඔය කියන වෘත්තිය තෝරගෙන තියෙනවා.හැබැයි ඒ දේ රටේ නීතියෙන් තහනම්.ඔවුන්ට රැකියාවක් ලබා දෙන්න සමාජය අසමත් වීම නිසා ඔවුන් මේ තත්ත්වයට පත් කරලා තියෙනවා.




13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් යමක් සඳහන් කලහොත්?

මම විවාහකයි.හොඳ රැකියාවක් කරනවා.



14.ඔබේ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

එක වරක් එහෙම ගිහින් තියෙනවා.එදා මම කාන්තාවක් විදියට සැරසිලා මගේ වාහනයෙන් ගියේ.කිහිපදෙනෙක් දැක්ක මාව.ඒත් එයාලා හිතන්න ඇත්තේ මම ගැහැණු කෙනෙක් කියලා.ඒත් බය නිසා නිතර එහෙම යන්න පුලුවන්කමක් නැහැ.



15.ඔබ අදින්නට වඩාත් ප්‍රිය කරන එහෙත් අවස්ථාවක් නොලද ඇදුම් සහ පැළඳුම් තිබේද?

Backless,Cocktail වගේ ඇඳුම්වලට ආසයි.




16.සාමාන්‍යයෙන් හරස්විලාසිනියකගේ ජීවිතයේ කොටස් දෙකක් තිබේ.එකක් ඔවුන් ස්ත්‍රියක් ලෙස ඇඳ පැළඳගෙන ගෙවන කාලයයි.අනෙක් පුරුෂයෙක් ලෙස සාමාජය ඉදිරියේ ගෙවන කාලයයි.මින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?

ඔය දෙවිදියටම ආසයි.බිරිද එක්ක සාමාන්‍ය ජිවිතය ගෙවද්දී ඉන්න වෙන්නේ පිරිමියෙක් වගේ.ඒකට මම හුගක් ආසයි.ඒ කාන්තාවක් විදියට ඉන්න වෙන්නේ බොහොම කෙටි කාලයක් නිසා වෙන්න ඇති.දින කිහිපයක් කාන්තාවක් විදියට ඉන්න කැමැත්තක් තියෙනවා.



17.සමහර හරස්විලාසිනියන් අර්ධ කාලීන,පූර්ණ කාලීන යන වචන දෙක භාවිතා කරයි.පූර්ණ කාලීන හරස්විලාසිනියක් යනු සැබවින්ම සංක්‍රාන්තිලිංගිකයෙක්.ඔබට සංක්‍රාන්තිලිංගිකයෙක් ලෙස ජීවත්වීමට බලාපොරොත්තුවක් තිබේද?

විවාහක වීම,සමාජයෙන් තියෙන ප්‍රශ්නත් එක්ක සංක්‍රාන්තිලිංගික තත්ත්වයට පත් වෙන්න බැහැ.එහෙම බලාපොරොත්තුවක් නැහැ.



18.ඔබ  කෘත්‍රීම පියයුරු,කොණ්ඩා සහ අනෙකුත් පැළඳුම් භාවිතා කරන්නේද?

බොරු කොණ්ඩා පාවිච්චි කරනවා.පියයුරු නම් මිලදී ගන්න උත්සාහ කලා.ඒත් ගෙන්වා ගැනීමේදී ප්‍රශ්න තියෙනවා.කරාබු මිලදී ගන්නවා.කණ විදීමක් නොකර පළඳින කරාබු තියෙනවා.ඒවා තමයි පාවිච්චි කරන්නේ.




19.හරස්විලාසිනියක් ලෙස ඔබ රූපලාවන්‍ය ගැන දක්වන අවධානය කෙබඳුද?

රෝම ඉවත් කරන්න ආසයි.ඒත් විවාහකයෙක් වීම වගේ ප්‍රශ්න නිසා ඒක කරන්න අමාරුයි.තොල් ආලේපන,නිය ආලේපන පාවිච්චි කරනවා.



20.හරස්විලාසිතා සඳහා ඔබ කාලය වෙන් කරගන්නේ කෙසේද?

සතියකට හෝ සති දෙකකට වරක් හරස්විලාසිතා කරනවා.



21.ඔබේ ලිංගික ජීවිතය ගැන යමක් සඳහන් කරන්නේ නම්?

මගේ විවාහක ජීවිතයෙන් සතුටක් ලබනවා.මම ගැහැණු අයට විතරයි ආකර්ෂණය වෙන්නේ.මම සමලිංගික චර්යාවලට කැමැත්තක් නැහැ.බීරිද මගේ හරස්විලාසිතා ගැන දන්නේ නැහැ.ඒ ගැන හෙළි කරන්න යන්නෙත් නැහැ.කලබල වෙන්න පුලුවන් එහෙම දෙයක් දැනගත්තොත්.




22.හරස්විලාසිනියක් ලෙස ඔබ අනුකරණය කරන පුද්ගලයෙක් සිටියිද?

නැහැ.එහෙම කරන්නත් අමාරුයි.



23.ඔබේ විනෝදාංශ මොනවාද?

මගේ විනෝදාංශය තමයි හරස්විලාසිතා කරන එක.එකම විනෝදාංශයත් ඒක විතරයි.



24.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට කල බලපෑම  කවරේද?

එහෙම සාමාන්‍ය ජීවිතයට බලපෑමක් කරලා නැහැ.ඒක මගේ විනෝදාංශය විතරයි.මගේ මානසික ආතතිය අඩු කර ගන්න උදව්වක් වෙලා තියෙනවා හරස්විලාසිතා කිරීම.




25.හරස්විලාසිනියක් ලෙස ඔබට ලැබුණු අමතක නොවන අත්දැකීම් මොනවාද?

අමතක නොවන අත්දැකීම වෙන්නේ මම සම්පූර්ණ ගැහැණියක් විදියට ඇද පැලඳගෙන,අත් බෑගයකුත් අරන් මෝටර් රථයෙන් එළියට ගිය දවස.එදා දැනුණු නිදහස අමතක වෙන්නේ නැහැ.

මුලින්ම මම පාවිච්චි කලේ අක්කා කෙනෙක්ගේ යට ඇඳුම්.ඒ ඇඳුම් මගේ ශරීර ප්‍රමාණයට අවශ්‍ය විදියට මහලා හදා ගත්තා.ඉන්පස්සේ මම හුරු වුනා වෙළඳ සැල්වලට ගිහින් ඇඳුම් මිලදී ගන්න.යට ඇඳුම් පවා.ඒක අලුත් අත්දැකීමක් වුනා.



26.හරස්විලාසිතා සඳහා යොමුවීමට බලාපොරොත්තුවන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

හුඟක් දේවල් වෙළඳපොලෙන් මිලදී ගන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාලය හරහා ඇනවුම් කරන්න පුලුවන්.වෙළඳසැලකට ගිහින් කාන්තා ඇඳුම් මිලදී ගන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ.



27.ඔබේ අනාගත බලාපොරොත්තු කවරේද?

සම්පූර්ණ ගැහැණියක් විදියට දවස් කිහිපයක් ඉන්න කැමතියි.වෙන රටකට හරි ගිහින් ඒ අවස්ථා ගන්න කැමතියි.




28.හරස්විලාසිනියන් ප්‍රජාව වෙත ඔබට යම් පණිවුඩයක් දීමට තිබෙන නම්

මාව හරස්විලාසිනියක් කියලා හඳුන්වන්නවට මම කැමති නැහැ.ඒ වචනේ කිව්වම ඇඟ වෙන්නේ සමලිංගිකයෙක් කියන එක.

ලිංගික තෘප්තියට මුල් තැන නොදී හරස්විලාසිතා කරන්න කැමති අපි වගේ පිරිස විතරක් එකතු කර ගන්න පුලුවන් තැනක් සමාජ ජාලවල හදාගන්න හැකි නම් හොඳයි.



View post on imgur.com



Post a Comment

0 Comments