බංග්ලාදේශ හිජ්රාවරුවන්(Transgenders) එරට රජය විසින් තුන්වන ලිංගිකයන් ලෙස පිළිගෙන ඊයේ(10) දිනට වසරක් සපිරුණි.1000 පමණ හිජ්රාවරුන් රැස්වි එම දිනය සැමරූ බව වාර්තාවේ.මධ්‍යස්ථ මුස්ලිම් රාජ්‍යයක් ලෙස හඳුන්වන බංග්ලාදේශයේ ඩකා අගනගරයේ වර්ණවත් සාරි වලින් සැරසුණු හිජ්රාවරු මහා මාර්ගයේ ගීත ගයමින් නටමින් සතුටු විය.
ඔවුන් බංග්ලාදේශයේ විශාල ධජයක් සහ "අපකිර්තිමත් දින,විවේචන සහ බිය අවසන්ව ඇත" ආදී වශයෙන් සඳහන් බැනර් සහිතව පෙළපාලිය ගමන් කර තිබේ.
පෙළපාලියේ බංග්ලාදේශ ධජය රැගෙන යන හිජ්රාවරු |
" අපි සෑම අතකින්ම කොන්කර නින්දාවට පත්කර තිබුණා.අපිට සැලකුවේ වෙනස් ලෙසයි.අපි ගැහැණුත් නොවන පිරිමිත් නොවන පිරිසක් නිසා සිනහවට ලක්වන්නට සිදු වුනා.නමුත් අද තත්ත්වය වෙනස්.අපිත් සාමාන්‍යය මනුෂ්‍යයන් බව අපිටත් දැනෙනවා."
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ රජය විසින් හිජ්රාවරුන්ව තුන්වන ලිංගිකයන් ලෙස පිළිගන්නා ලදි.එමගින් ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත විය.රජයේ ලියකියවිලි සහ ගමන්බල පත්‍ර ආදියේ ඔවුන්ව තුන්වන ලිංගිකයන් එනම් හිජ්රාවරුන් ලෙස හඳුන්වාදෙනු ලැබේ.
බංග්ලාදේශ රජයේ වාර්තා අනුව එරට හිජ්රා ජනගහනය 15,000ක් පමණ වුවත් LGBT අයිතීන් පිළිබඳ කණ්ඩායම් වලට අනුව ඒ ගණන 500,000කි.
මෙම පෙළපාලිය සංවිධානය කර තිබෙන්නේ Bandhu Social Welfare Society (BSWS),සමාජ සුභසාධන අමාත්‍යාංශය සහ UNAIDS විසිනි.මෙහි අරමුණ "රජය විසින් හිජ්රාවරුන්ව තුන්වන ලිංගිකයන් ලෙස නිල වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ස්තුතිය පිරිනැමීම සහ එම ක්‍රියාව අගය කිරීමයි"
මෙම පළමු සංවත්සරය වෙනුවෙන් තවත් ඉසව් කිහිපයක් පැවැත්විණි.හිජ්රාවරුන්ගේ අයිතීන් පිළිබඳව සම්මන්ත්‍රණයක් සහ හොඳම නර්තන හැකියාව සහ ගායන හැකියාව සහිත හිජ්රාවරු අගයන කුසලතා මැන බැලීමේ තරඟාවලියක් ඒ අතර විය.ඊට අමතරව මෙමස අගදී සුන්දරතම හිජ්රාවරයා තේරීමේ තරගයක්ද පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ
0 Comments