ඉන්දියානු Hijra සංස්කෘතිය - 9 (අවසානය)



ලිංගභේදය යනු ලිංගිකමය දෙයක් නොවේ.එය  සමාජය තුල පුද්ගලයෙකුගේ චරිතයයි.සමාජය තුල ලිංගභේද කිහිපයක් තිබෙන්නේ මේ නිසාවෙනි.හිජ්රා කෙනෙක් නියම වශයෙන් හිජ්රා තත්ත්වයට පත් වන්නේ පුමාංගිහරණ ශල්‍යකර්මයෙන් පසු යැයි ඔවුන් කියා සිටියි. එලෙස නියම හිජ්රා කෙනෙක් වූ අයෙක් තමන්ව කාන්තාවක් ලෙස හඳුන්වාගන්නේ නැත.ඔවුන්ගෙන් සුලු පිරිසක් පමණක් මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව තමන්ව කාන්තාවක් ලෙස හඳුන්වා ගන්නා මුත් සාමාන්‍යයෙන් ඔවුන් තමන්ව හිජ්රා හෝ තුන්වන ලිංගිකයන් ලෙස හඳුන්වා ගනියි.



ගණිකා වෘත්තිය යනු හිජ්රා සංස්කෘතියත් සමග බැදුණු දෙයකි.ඊට හේතුව හිජ්රාවරුන්ගේ පැවැත්මට ඔවුන්ට කල හැකි තවත් එක් රැකියාවක් වන්නේ එය නිසාවෙනි.මෙවන් නින්දිත රක්ෂාවක් කෙනෙක් සොයාගන්නේ ස්ව කැමැත්තෙන් නොව ජීවත් වීමට වෙනත් මඟක් නොමැති නිසාවෙනි.නමුත් මෙම නිදහසට කරුණ අපේ සාමාන්‍ය සමාජයට වඩා හිජ්රාවරුන්ගේ සමාජයට ගැලපෙන්නේ ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන නිසාය.


ලිංගික වෘත්තිකයන් ලෙස කටයුතු කරද්දී හිජ්රාවරු ස්ත්‍රියගේ චරිතයට පණ පොවයි.නමුත් සත්‍ය වශයෙන්ම හිජ්රාවරයෙක් සහ පුරුෂයෙක් අතර සිදුවන ලිංගික ගණුදෙනුව සමලිංගිකය.සමලිංගික නැඹුරුවක් සහිත ඉන්දියානු පිරිමි වැඩි පිරිසක් කාන්තාවන් සමග විවාහ වී සිටියි.මෙම පිරිමි හිජ්රාවරුන් සොයා පැමිණෙන්නේ ඔවුන් සඟවා ගෙන සිටින ආශාවන් ඉෂ්ඨ කර ගැනීමටය.සමලිංගිකත්වය ඉන්දියාව තුල නීතියෙන් තහනම්ය.යැදීම හෝ සිඟමනේ යෑමෙන් ප්‍රමාණවත් මුදලක් නොලැබෙන නිසා ඔවුන් මෙයට යොමු වන බව පැහැදිලිය.තවද ඔවුන්ට ආරාධනා ලැබෙන උත්සව අවස්ථාද ක්‍රමයෙන් අඩුවෙමින් යයි.ඉන්දියානු සමාජය ක්‍රමයෙන් මිත්‍යා විශ්වාසයන් අතහැර දමමින් බටහිරකරණය වීම නිසා හිජ්රාවරුන්ට ලැබුණු පිළිගැනීමද ක්‍රමයෙන් නැතිවී යමින් තිබේ.එහෙත් රජය මගින් මෙම වසරේදී හිජ්රාවරු තුන්වන ලිංගිකයන් ලෙස පිලිගැනීම නිසා අනාගතයේදී ඔවුන්ගේ ජීවිත සුභදායි වනු ඇතැයි සිතිය හැකිය.


Post a Comment

0 Comments