හිඡ්රාවරුන්ගේ කථාව



ඔවුන්ගේ ප්‍රේමය අපේක්‍ෂා කරන්නෝ රාම සීතා ප්‍රේම පුරාවතේද සිටියහ. ඔවුන්ගේ ප්‍රේමයේ සුන්දරත්වය මෙන්ම මහා බලකාමී රණකාමී ඇත්තන් ඔවුන්ට වශී වූ හැටිද මහා භාරතයේද සඳහන් වෙයි. මොවුන් මහා භාරතයේද සෙසු ආසියාතික රටවල අදටත් හැඳින්වෙන්නේ හි-රා HIJRA යනුවෙනි. ඔවුන්ව උර්දු සහ බෙංගාලි බසින් හැඳින්වෙන්නේ KHUSRA කුස්‌රා යන්නෙනි.

ඉන්දියානු සහ පාකිස්තානු හිජ්රාවරු
ඔවුන් කායිකව පිරිමින් වුවත් ඔවුන් බොහෝ රුචිකරන්නේ ගැහැනුන් මෙන් හැසිරෙන්නටය. ජීවත්වන්නටය. දකුණු ආසියාතික රටවල වෙසෙන හි-රාවරුන්ගේ කථාව සැබවින්ම ශෝකාකූලය අතීතය වර්තමානය මෙන්ම අනාගතය ද ඔවුන් පහත් සමාජ පරාජසය තුළ ඇද බැඳ තබා ගෙන සිටී. පකිස්‌තානයේ පමණක්‌ හි-රාවරුන්ගේ තත්ත්වය යම් තරමක්‌ දුරට ඉහළට එසැවී තිබේ. බොහෝ සමාජ විද්‍යාඥයන් අනාවරණය කරන ආකාරයට මේ තුන්වන ජන වර්ගයේ මුල්කාලීන ජීවිතය බොහෝ දුක්‌ගැහැට හා කම්කොටලුවලින් පිරී ගිය එකකි. ඔවුන්ගේ ළමා කාලයේදීම නිවෙස්‌වලින් පලාඒම තමන්ගේ ජනවර්ගයෙන් හෝ කුලයෙන් නෙරපා දැමීමට බොහෝ දෙනෙකුගේ ජීවිත තුළ දැක ගත හැකිය.

පාකිස්තානු හිඡ්රාවරුන්
හි-රා යන්න උර්දු බසට එක්‌ව ඇත්තේ අරාබි බසින් එන HIR වදනිනි. එයින් අරුත් ගැන්වෙන්නේ තමන්ගේ කුලයෙන් පිටතට ගිය තැනැත්තා යන්නය. භාරතය තුළ වෙසෙන හි-රාවරුන් පිළිබඳ අධ්‍යයනය කළ බටහිර රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක්‌ වර්තමානයේ ඔවුන්ව හඳුනාගන ඇත්තේ තෙවන ලිංගික පාර්ශ්වයක්‌ ලෙසටය. (THIRD SEX)

බංග්ලාදේශයේ හිඡ්රාවරුන්
හි-රාවරයකුවීම පිළිබඳ සඟවන කථා බොහෝමයක්‌ම තිබේ. සැබවින්ම ස්‌ත්‍රීන් ලෙස කල්ගතකරන්නට ප්‍රිය කළද ඔවුන් පිරිමින්ය. කලාතුරකින් මෙලොව එළිය ලබන ව්‍යාකූල සහගත ලිංගිකත්ව දරන්නවුන් (Ambiguous Genitalia‌) ද මේ තත්ත්වවලට පත්වීමට ඉඩක්‌ තිබේ. හි-රාවරයකු බොහෝ විට කල්පනා කරන්නේ තෙවන ලිංගික පාර්ශ්වයක්‌ ලෙසට කල් ගතකරන්නටය. එහෙත් බොහෝ දෙනා ප්‍රිය කරන්නේ කාන්තාවක ලෙසට කල්ගත කරන්නටය. බටහිර මනෝවිද්‍යාවේදී TRANSVESTISM ලෙසට මේ මේ ක්‍රියාදාමය හඳුන්වන්නේ හි-රා ගේ කථාව ඊටත් වඩා දුර යයි. බටහිර දී කාන්තාවන් ලෙසට තමන්ගේ චර්යාවන් සිතුවිලි කථාබහ වෙනස්‌කර ගැනීම Transsexual Woman ලෙසට හඳුන්වන නමුත් ඉන්දියාව පකිස්‌තාන බංග්ලාදේශයේදී හමුවන හි-රා වරුන්ගේ තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින්ම වෙනස්‌ය. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ඇතැම් හි-රාවරුන් තමන්ගේ ලිංගික අවයව විකරණය කර ගන්නා බවට Geaital Modifications තොරතුරු ලැබෙමින් පවතී. එහෙත් එය සංඛ්‍යාත්මකව නම් ප්‍රකාශ කිරීම බොහෝ අපහසුව පවතී.

තම තමන්ගේ ප්‍රකෘති අවයව මෙලෙස විකරණයට ලක්‌කිරීම හි-ජාවරුන්ගේ බසින් නම් කෙරෙනුයේ නිර්වාන් Nirwaan යන නමෙනි. ගෞරව සම්ප්‍රයුක්‌ත හි-රාවකු බවට පත්වීමට නම් මෙම ලිංගික විකිරණ සැත්කමට යමෙකු බඳුන් විය යුතුය. පූර්ණ වශයෙන් පුරුෂ ලිංගය ඉවත් කිරීම Emasculation මෙයින් අරුත් ගැන්වේ. හි-රාවකු ලෙසට ගෞරවණීය තත්ත්වයට පත්වීමට ඉඩකඩ ලැබෙන මේ සැත්කම යාතුකර්මයක සොබාව ගනී. හි-රා සම්ප්‍රදායට අනුව මේ සැත්කමට ගොදුරුවීම පුද්ගලයකු නවැත ඉපදීමකට සමාන වේ.


කිසිදු නිර්වින්දන හෝ වේදනා නාශක උපක්‍රම නොමැතිව මේ යාතුකර්මීය සැත්කම සිදුකරනු ලබනනේ හි-රා පරම්පරාවේම වින්නඹු මාතාවකි. ඇය ඔවුන් හඳුන්වන්නේ දායි (dai) යන වදනෙනි. තියුණු පිහියක්‌ සැත්කම් උපකරණයක්‌ ලෙසට භාවිතා කොට කැරෙන මේ සැත්කම අතිශය අවදානම්කාරී වුවත් මේ සැත්කම නිසා මරණයට පත්වූවන් ගැන බොහෝ වාර්තා නොමැත. වර්තමාන වෛද්‍ය විද්‍යාවට පින්සිදුවන්නට මිල මුදල යහමින් හම්බු කරගත් හි-රාවරුන් තමන්ගේ සිරුරට ස්‌ත්‍රී ලිංගික අවයව ඒකාබද්ධ කිරීමේ සැත්කම් පවා Vaginoplasty සිදුකර ගනිති. එහෙත් මේ සැත්කම් අතිශයින්ම දුලබය.

ගණිකා වෘත්තියේ යෙදීම
මෙබඳු ලෙසින්ම භෞතික සිරුරද හැඩතල වෙනස්‌කර ගන්නා ඔවුන් සුන්දර ලලනාවන් ලෙසට තම රාජකාරි අරඹති. බොහෝ දෙනා කරන්නේ නගරයට පැමිණ වාණිජ ලිංගික කර්මාන්තයෙහි යෙදීමය. භාරතීය සමාජය තුළ මෙබඳු පරිවර්තනයකට ලක්‌වූ තැනැත්තියන් හට භාවිත කරනුයේ Kothi කෝති යන වදනයි. භාරතීය සමාජ ස්‌ථාරයනයේ පහළම තලයක්‌ හි-රාවරුන්ට හිමිවෙයි. එහෙත් කෝතිලා සමගින් රහසිගතව සබඳතා පවත්වන බොහෝ දෙනා ඉහළම සමාජ ස්‌ථර නියෝජනය කරති. ඇතැම් විට මෙබඳු කෝතිලාවට වහවැටුණු කුවේර ධනවතුන් ඔවුන්ව කරකාර බැඳගත් පුවත් හි-රාවරුන්ගේ ඉතිහාසයේ මෙන්ම වර්තමානයේදීද තිබේ. එහෙත් මෙබඳු විවාහ නීතියෙන් මෙන්ම ආගමික වශයෙන්ද තහංචිවලට ලක්‌ව තිබේ.

පුරුෂයෙක් සමග විවාහ වන හිජ්රා කෙනෙක්
එලෙසම හි-රාවරුන් සමග අසම්මත ප්‍රේමයක පැටලෙන ප්‍රේමවන්තයන් බංග්ලාදේශයේදී හඳුන්වන්නේ "පාන්ති" යන නමෙනි. දිල්ලියේද මෙබඳු ප්‍රේමාන්විත යෙන් ගිරියා යන නමින්ද කොචින්හිදී ඔවුන් ශ්‍රීධර් යන නම්වලින්ද හඳුන්වනු ලබයි.

නර්තනයේ යෙදෙන අවස්ථාවක්
භාරතීය කුල ධුරාවලියේද හි-රාවරුන්ට උරුමවන්නේ පහළම තලයකි. රැකියාවන් අධ්‍යාපනය නිවාස හෝ පොදු පහසුකම් ලබාගැනීම ඔවුන්ට සිහිනයක්‌ම පමණි. හිඟාකෑම ලිංගික තෘප්තිය අනුන්ට ලබාදීම මෙන්ම කුලවතුන් ගේ මඟුල් තුලාවලදී රංගනයන් ඉදිරිපත්කිරීම ඔවුන්ගේ දිවිපෙවෙත ගෙනයන්නට උපකාරී වන ආදායම් මාර්ගයන්ය. බොහෝ සෙසු ආසියාතික රටවල මෙන්ම පරිවර්තික ලිංගයන් සහිත පූරාවකට Transgender Community බොහෝ සමාජයීය පිළිකෙව්කිරීම්වලට සහ දුෂ්ඨ සැළකිලිවලට ලක්‌වීමට නිරතුරුවම සිදුවෙයි.

සිඟා කන අවස්ථාවක්
කුලවත් පවුලකට පුත්‍රරත්නයක්‌ ලැබුණු මංගල මොහොතකදී ඔවුන් එය සමරන්නට හි-රාවන් සමූහයක්‌ කැඳවා මහානැටුමක්‌ පවත්වති. මෙමගින් දරු සම්පත්, ගව මහීෂාදී ලාභ තවතවත් ලැබේවායෑයි ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් විශ්වාසයකට අනුව හි-රාවරුන්ගේ "සාපය" ඉතා බරපතල විපත්ති ගෙන දීමට සමත්ය. මේ නිසාම තමන්ගේ සතුරන්ට සාපකරන්නට "හි-රාවරුන්" යොදා ගැනීම භාරතයේ සාමාන්‍ය සිරිතකි. හි-රාවරුන් සිඟමන් යදින විට ඔවුන්ට මුදල් හනිකට දී ඔවුන්ගේ මුවින් සාප නොඅසා සිටීමට බොහෝ දෙනා උත්සාහ කරති.
පිරිමින් සතුටු කිරීම
හි-රාවරුන් සමග කාම සම්භෝගය පිළිබඳ තොරතුරු වාත්ස්‍යායනයන්ගේ කාමසූත්‍රයෙහිද අඩංගුය. ඔවුහු එම රති ක්‍රියාවන් එහි විවරණය කරන්නේ ත්‍රීතීය ප්‍රකිර්තිය ලෙසටය. භාරතය ඉංග්‍රීසින් පාලනය කරන සමයෙහි හි-රාවරුන්ට තදබල ගැටලුවලට ලක්‌වීමට සිදු වූ කාල වකවානුවකි. ඔවුහු Anti Hijra laws නමින් පනත් සම්මත කරගනු ලැබුයේ එය ඉන්දිය සදාචාරයට බරපතල හානි ලෙසට සැලකූ හෙයිනි. තවද 1871 දී ඉංගිරිසිහු Criminal Tribes Act නම් පනතක්‌ ගෙනවුත් හි-රාවරුන් තහනම් ගෝත්‍රයක්‌ ලෙසට විග්‍රහ කළහ.
ඓතිහාසික පුරාවෘත්ත ගණනාවක්‌ම හි-රාවරුන් සම්බන්ධව ඉස්‌මතුව පවති. එම පුරාවෘත්තවලට අනුව හි-රාවරුන් බහුතරයක ගේ සම්භවය බහුචාරමාතා දෙවඟන ආශ්‍රිතව ඉස්‌මතු වෙයි. අදටත් හි-රාවරුන්ගෙන් බහුතරයක්‌ම අදහන්නේ බහුචාර මාතා දෙවඟනය. බහුචාර මාතාවන් හි-රාවරුන් පිළිබඳ බොහෝ කථා පුවත් හින්දු දේව පුරාණයේ සඳහන් වෙයි.

වරෙක කුමරි බඹසර රැකගෙන බොහෝ සිල්වත්ව දවස ගෙවූ බහුචාරමාතාව කෙරෙහි රාග සිත් ඇතිවූ හැඩිදැඩියකු ඇයව කෙළෙසා දමමියි සිතා ඇය වෙත සමීප වීලු. වහා ඉවතට ගිය ඔහුට සාප කළාය. මේ සාපයත් සමගම ඔහුට පුරුෂ භාවය අහිමිවී ගියේය. තමන්ට සිදුවූ විපත ගැන බොහෝ දුක්‌ වූ ඔහු හඬමින් දොඩමින් කියා සිටියේ තමන්ගේ සාපය ඉවත්කර දෙන මෙන්ය. බොහෝ වේලාවක්‌ කල්ගත කළ බහුචාර මාතාවන් ඔහුට වරයක්‌ දුන්නාය. ඒ මින් පසුව ඉතිරියක ලෙසට වනය තුළ ජීවත්වීමටය. වත්මන් හි-රාවරුන්ගේ ඓතිහාසික පුරාවෘත්තවලින් එකකි ඒ. වත්මන්හි බහුචාරමාතාවන් උදෙසා වූ දැවැන්ත දෙවොලක්‌ ගු-රාට්‌හි පිහිටුවා තිබේ.

City of Djinns: A Year in Delhi by William Dalrymple
අර්ධනාරි දේවතාවන්ටත් හි-රාවරු පුද පූජාවන් පවත්වති. අර්ධනාරී දේවමාතාවගේ සිරුරේ අඩක්‌ ශිවදෙවියන්ගේ වන අතර ඉතිරි අඩ සැදුම් ලද්දේ පාර්වතිය ගේ ස්‌වරූපයටය. හි-රාවරුන් පිළිබඳව ලියෑවුණු සාහිත්‍යකෘතිද බොහෝය Lesile Forbes රචනා කළ Bombay ice නවකථාව සහ William Dalrymple රචනා කළ City of Djinns කෘතිය ඉන් මුල්තැන් ගනී. හි-රා පිළිබඳ කථා වස්‌තු රැගත් චිත්‍රපට බොහෝ ගණනක්‌ද භාරතය තුළ ප්‍රදර්ශනය වී තිබේ. එහෙත් අදටත් මේ අසම්මත ජන කොටස මහා භාරතය තුළත් සෙසු ආසියාතික රටවලත් හුදු "රසාස්‌වාදය" සඳහාම පමණක්‌ ඔවුන් ගේ දිවි කැපකරමින් සිටිති.

හිටපු සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය
ඩබ්ලිව්.ඒ. සරත්චන්ද්‍ර

විශේෂ ස්තුතිය මිත්‍ර Sudas Fernando

" මෙම ලිපිය 2010 අගෝස්තු මස 01 දින ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලද්දකි."


Post a Comment

0 Comments